රාජකීය ජාතික පාසල

මොනරාගල

ගෞරවනීය ආරාධනයයි..................

Yourparagraphtext2.png

විදුහල්පති පණිවිඩය

ඒ.එම්.සී.ඩි.අත්තනායක මයා

සාදු ගුණයෙන් යුතු ගුණ නැණ වැඩූ දරු පිරිසක් ලොවට දායාද කරන ඓතිහාසික පහළ ඌවේ පිහිටි විශිෂ්ට පාසලක් ලෙස අද්විතීය ගමන් මගක යෙදෙමින් ප්‍රදේශයට කීර්තියක් අත්කර දෙන පාසලක් බව කිව යුතුය. මොනරාගල නගරයට 2 km ක් ආසන්නව 1969 වර්ෂයේ මාර්තු මස 15 වන දින " හුලංදාව නව කනිටු විදුහල " ලෙස අත්පොත් තැබූ මෙම පාසල දිනෙන් දින පහන් ටැඹක් ලෙසින් විරාජමාන වන බව නොරහසකි. එදා රාජ්‍ය සේවයේ යෙදුණු නිලධාරීන්ගේ පහසුවට හා ඔවුන්ගේ දරුවන්ගේ අවශ්‍යතා මුල් කර ගනිමින් ශාස්ත්‍රීය කලාපයක් තුළ පිහිටුවීමට කටයුතු කළ මෙම පාසල නිර්මාණය කිරීමට පුරෝගාමී මෙහෙවරෙහි නියමුවා වූයේ P. S. රණතුංග මහතා ය. ගුරුවරුන් 05 දෙනෙකුගෙන් හා සිසුන් 210 දෙනෙකුගෙන් ආරම්භ වී පසු කාලීනව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නියාමන වැඩ සටහන් ඔස්සේ පියවර තබමින් හුලංදාව නව කනිටු විදුහල මොනරාගල දිස්ත්‍රික්කයට අභිමානවත් සේවාවක් ඉටු කරන ලදී. පසුව ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අදිටන පෙරදැරි කර ගනිමින් සීග්‍රයෙන් දියුණුවන මෙම පාසල " මොනරාගල රාජකීය මහා විද්‍යාලය " ලෙසත් 1993 දී " මොනරාගල රාජකීය ජාතික පාසල " ලෙසටත් විශිෂ්ඨ මෙහෙවරක යෙදෙමින් අධ්‍යාපන අරමුණු කරා යාමට මග හසර විවර කර ගන්නා ලදී. විදුබිමෙහි පහස ලබමින් ප්‍රදේශයේ දරුවන්ට අධ්‍යාපන අවස්ථා උදාකර දීමේ උදාර කර්තවයේ යෙදීමට ශක්තියක් වූ විදුහල්පතිවරුන් රැසක් යටතේ පෝෂණය වෙමින් ලක් මාතාවගේ තුරුලේ වැජඹීමට සමත් වී ඇත.

රාජකීය විදු මාතාව පියවරෙන් පියවර තබා යන ගමනේ තවත් යෝධ ශක්තියක් වීමට වත්මන් විදුහල්පති වන මා හට හැකි වූයේ මෙතෙක් පාසල තුළ පැවති අභිමානවත්, නීති රීති හා සම්ප්‍රදායන් රැක ගනිමින් අධ්‍යනය හා අනධ්‍යනය කාර්ය මණ්ඩලයේත්, ආදි රාජකීයන්ගේ, දෙමාපියන්ගේ පාසල් ප්‍රජාවේ හා සුබ පතන්නන්ගේ මග පෙන්වීම හා ධෛර්ය මත කටයුතු කළ නිසා බව කිව යුතුය. වර්තමානය වන විට මොනරාගල දිස්ත්‍රික්කය තුළ 1 - 13 දක්වා ශේණිවලින් හෙබි එකම ජාතික පාසල වන අතර ප්‍රදේශයේ බාලක - බාලිකා යන දෙයංශයට ම අධ්‍යාපන හිමිකම් ලබා දෙමින් සිටියි. මේ වන විට අධ්‍යාපන අරමුණු කරා යමින් සිටින 3500 ක් පමණ වූ දරු පිරිසකට අත්වැලක් වන අතර අධ්‍යන කාර්ය මණ්ඩලය 180 ක් වන අතර ඒ සදහා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ ද නොමසුරු දායකත්වය ලැබෙන බව නොරහසකි. කලා, වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණ විද්‍යාව ආදී විවිධ වූ විෂයධාරා ඔස්සේ අධ්‍යාපනය ලබා ගනිමින් ලොව දිනන්නට ඇවැසි වට පිටාවක් පාසල තුළ නිර්මාණය වී හමාරය. මෙසේ මොනරාගල රාජකීය පාසල් නාමය ජාතික හා ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට විෂය හා විෂය සමගාමී මෙන් ම විෂය බාහිර ක්‍රියාකාරකම් ඔස්සේ හැකි වී තිබේ. ඒ අනුව අනෙක් පාසල් හා තරගකාරීව ඉදිරියට යමින් රාජකීය අභිමානය ලොවට ගෙන යාමට හැකිවන සේ මලල ක්‍රීඩා, සෞන්දර්ය, ශිෂ්‍ය භට, පරිසර භට, බාලදක්ෂ, ශාන්ත ජෝන් ගිලන් රථ හමුව, ශිෂ්‍ය පාර්ලිමේන්තු, විවාද කණ්ඩායම්, භාෂා තරගාවලි, වාණිජ, විද්‍යා, සාහිත්‍ය සංගම් ඉතා සාර්ථක ලෙස පාසල තුළ ක්‍රියාත්මක වේ. එයින් ලැබෙන පන්නරය තුළින් අනෙක් පාසල් හා තරග වදින අප් පාසලත් ප්‍රාථමික, කනිෂ්ඨ, ජ්‍යෙෂ්ඨ යන අංශ වලින් විශිෂ්ට සමත්කම් දක්වා ඇති අතර සමබර පෞරුෂයක් ගොඩනැංවීමේ අරමුණින් කලා උළෙලවල්, අසල්වාසීන් සමග ක්‍රිකට් ගැටුම් ආදී ක්ෂේත්‍රයන්හි නිරතකරවමින් අධ්‍යාපනයේ සම අයිතීන් ලබා දීමට අවශ්‍යය ඉඩහසර විවර කොට හමාරය. තවත් සපුරා ගත යුතු බොහෝ අවශ්‍යතා ඇති ඉතා කුඩා භූමි භාගයක පිහිටි මේ පුණ්‍ය භූමිය ලොව දිනන දරුවන් වෙනුවෙන් තෝතැන්නක් වී රාජකීය නාමය දසත බබළවන්නට හැකියාව ලැබේවායි පතමි.

 

ඒ.එම්.සී.ඩි.අත්තනායක මයා
විදුහල්පති
මොනරාගල රාජකීය ජාතික පාසල .